වර්තමානයේ සංචාරකයන් ලංකාවට පැමිණීමට හේතු

            අතීතයේ විවිධ හේතුන් සඳහා ලංකාවේ සංචාරය කර ඇත. එසේ නම් වර්තමානයේ වැඩිවශයෙන් සංචාරකයින් ලංකාවට පැමිණීමට හේතුන් පවතී. ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීමේ ප්‍රධාන සාධක ත්‍රිත්වයකි. එනම්.

  1. භෞතික සාධක
  2. සංස්කෘතික සාධක
  3. මානව සාධක      ලෙස පෙන්වා දිය හැක

භෞතික සාධක

                        ලංකාවේ භෞතික සාධකය සංචාරක ආකර්ශනයට බොහෝ සෙයින් ඉවහල් වී ඇති බව අතීතයේ සිටම පැහැදිලිය. ලංකාවේ ස්වභාවය විදේශිකයන් චිත්තාකර්ෂණයට පත් කරයි. භෞතික සාධක ප්‍රධාන වශයෙන් අංශ හතරක් යටතේ පෙන්වා දිය හැකිය.

  1. ශ්‍රී ලංකාවේ පිහිටීම
  2. ශ්‍රී ලංකාවේ භුමි දර්ශනය
  3. ශ්‍රී ලංකාවේ දේශගුණය
  4. ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් පැවතීම

 

ශ්‍රී ලංකාවේ පිහිටීම

            ලෝකයේ අනෙකුත් රාජ්‍යයන්ට සාපේක්ෂව ලංකාවේ පිහිටීම විශේෂ වේ. උතුරු අක්ෂාංශ 5.54-9.52 අතරද නැගෙනහිර දේශාංශ 79.39-81.53 අතරද පිහිට ඇත. සමකයට ආසන්න බැවින් අවුරුද්ද පුරා සෘජු සුර්ය රශ්මියක් ලැබෙයි. නමුත් සමක ආසන්න සෙසු රටවල මෙන් දැඩි උෂ්ණ ස්වාභාවයක් නැත. ඊට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාව දුපතක් වීමයි. මේ නිසා උෂ්ණත්වය සමනය වී ඇත. එසේම පෙර අපර දෙදිග ජාත්‍යන්තර නාවික මාර්ගයකට ආසන්න පිහිටීම ඉතා වැදගත්ය. ජාත්‍යන්තර මුහුදු සීමාවේ ගමන් කරන නැව් විවිධ අවශ්‍යතා සඳහා ලංකාවට පැමිණේ. ඉන්දියාවට ආසන්නයෙන් මෙන්ම වෙන්ව පිහිටීමද සුවිශේෂීය. දකුණු දෙසින් විශාල ඉන්දියන් සාගරයට විවෘත වී පැවතීමද ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටීමද සංචාරක ආකර්ශනයට හේතු වී ඇත. විදේශිකයන් ලංකාවට ඇතුලුවන මාර්ග දෙකකි. එනම් නාවික හා ගුවන් මාර්ගයයි. ආසියාවේ මධ්‍යගතව පිහිටි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල මේ අතර විශේෂ වේ. මෙවැනි පිහිටීමේ විශේෂත්වයන් මත සංචාරකයින්ගේ විශේෂ අවධානය ශ්‍රී ලංකාවට පත්වී ඇත.

 

ශ්‍රී ලංකාවේ පවතින ආකර්ශනීය භූ දර්ශන

 

            ශ්‍රී ලංකාවේ භූ දර්ශනය 0m – 2524m දක්වා විහිදේ. එහි විශේෂත්වය නම් මාධ්‍යයෙන් කඳුකර උස් භුමිය හා වෙරළ දක්වා වූ බෑවුම් භූමියක් පැවතීමයි. සංචාරකයින්ගෙන් වැඩිම කොටසක් දියුණු රටවල ජනතාවගෙන් නියෝජනය වේ. එම රටවල පවතින්නේ කොන්ක්‍රීට් වනාන්තරය. ඒ නිසා ඔවුන් හරිත පැහැයට නිතැතින් ඇල්මක් දක්වයි. ගුවනින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල දක්වා ලංකාවට ගොඩ බැසීමට ආසන්න මොහොතේ සිට වූ දර්ශනය හරිත පැහැයෙන් දර්ශනය වේ. ඒ නිසා භුමි වෘක්ෂලතාවන් ද සංචාරකයා ආකර්ශනය කරයි.

            ශ්‍රී ලංකාව වටා පවතින්නේ ඉතා දැකුම්කළු වෙරළ තීරයකි. එම වෙරළ තීරයන්ගේ සෞන්දර්යය පහස විඳීමට සංචාරකයෝ කැමැත්තක් දක්වයි. විශේෂයෙන් වෙරළ ආශ්‍රිතව ඇවිදීමට , අව්ව තැපීමට, නෑමට ප්‍රිය කරයි. වෙරළ සමග බද්ධ වූ ක්‍රීඩාවන්ටද දැඩි ඇල්මක් දක්වයි. බීච් වොලිබෝල්, දියමත ලිස්සීම, රුවල් ඔරු පැදීම මේ අතර ප්‍රමුඛ වේ. මෙවැනි විනෝදාත්මක සුවයක් විඳීමට ලංකාව වටා ඒ සඳහා විශේෂ වූ වෙරළ පද්ධතියකි. ඒ අතර හික්කඩුව, ගල්කිස්ස, උණවටුන, නිලාවේලි, පොල්හේන, පාසිකුඩා, ආරුගම්බේ, කල්පිටිය වැදගත්වේ. මීට අමතරව සුමිහිරි දසුන් ගෙනෙන හික්කඩුව කොරල්පර, නිලාවේලි වෙරළ, වාද්දුව, බෙන්තොට හුම්මානය, ත්‍රිකුණාමලය, ගාල්ල කැපී පෙනේ. වෙරළින් රට අභ්‍යන්තරයට ගමන් කරන විට දියඇලි, වනාන්තර, කඳු වැනි භුමි දර්ශන මනස්කාන්ත බව තියුණු කරයි. ඒ අතර දියළුම, බඹරකන්ද, දුන්හිඳ, ඇබර්ඩීන්, වැනි දියඇලිද සිංහරාජය, යාල, විල්පත්තුව, උඩවලව, කුමන වැනි වනාන්තරද භුමිය නකල්ස්, නමුනුකුල, පිදුරුතලාගල, කිරිගල්පොත්ත වැනි හරිතවත් කඳුමුදුන්ද සංචාරකයින්ගේ සිත් ඇදගන්නා බව නොරහසකි.

 

            බොහෝවිට සංචාරක කර්මාන්තයේදී වන සතුන්   නැරඹීම සඳහා ජංගම වැඩසටහන් (සෆාරි) සකස් කර ඇත.  යාල හබරණ වැනි ස්ථාන වල දින කිහිපයක් ගත කිරීම සඳහා සංචාරකයා පෙළඹවීමක් ඇති කරයි. එමෙන්ම ජෛව විවිධත්වය, ගස්කොළන් වල සිසිලස වෙනස් බව, හරිත වර්ණය එක්තරා සංචාරක ආකර්ශනයක් බවට පත්වේ. විදේශ රට වලින් පැමිණෙන සංචාරකයින්ට තම රට වල හරිත වර්ණය බොහෝ ලෙස දක්නට නොමැති නිසා වනාන්තර දර්ශනයන්ට ප්‍රිය කරයි. ලෝක උරුමයක් ලෙස හඳුන්වන සිංහරාජ වනාන්තරයේ ජෛව විවිධත්වීය දුලභ ශාක පවතින බැවින් ද ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය නම් කර ඇති නිසාද සංචාරකයින් අතර ජනප්‍රිය වී ඇත.

            රට අභ්‍යන්තරයේ පවතින ස්වාභාවික ජල මුලාශ්‍ර නැරඹීම, ස්නානය කිරීම හා ඒ තුල ගැටෙමින් විනෝදයෙන් විවේක ගැනීම සංචාරකයින් තෘප්තිමත් වන තවත් අංගයකි. කඳුමුදුන් තරණය කර එහි සිට අවට දර්ශන නැරඹීමට සංචාරකයින් කඩුගන්නාව, හෝර්ටන් තැන්න හා ලෝකාන්තය, අම්බුළුවාව, රිවස්ටන් වැනි ආකර්ශනීය ස්ථාන භාවිතා කරයි.

 

ශ්‍රී ලංකාවේ දේශගුණය

            ශ්‍රී ලංකාවේ දේශගුණය පිළිබඳ සැළකීමේදී සංචාරකයා රුචි ඕනෑම දේශගුණ තත්ත්වයක් පැවතීමද විශේෂ ලක්ෂණයකි. බණ්ඩාරනායක ගුවන්තොටුපලේ සිට පැය හතරක් ඇතුලත ඕනෑම දේශගුනිකා පහසක් ලබා ගැනීමට හැකිවීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ලැබූ මහත් භාග්‍යයකි. මෙය සංචාරක ආකර්ශනයට විශේෂ හේතුවකි. මෙම තත්ත්වය ලෝකයේ හිමිව ඇත්තේ ඉතා කුඩා රටවල් සංඛයාවකට පමණි.

 

            ශුෂ්ක දේශගුණයට රුචිනම් හම්බන්තොට, පුත්තලම වැනි ප්‍රදේශයන්ටද වියළි දේශගුණික තත්ත්වයකට කැමතිනම් අනුරාධපුර, පොළොන්නරු ප්‍රදේශ වලටත් සීත දේශගුණයකට නුවරඑළිය ප්‍රදේශයටත් යාමට සංචාරකයාට හැකියාවක් ඇත. ඒ නිසා දේශගුණික විවිධත්වයක් පැවතීමත් හේතු වේ. යුරෝපීය රටවලට සීතල පවතින සමයේ වුවද ලංකාවේ සෑම දේශගුණයක්ම පැවතීම ඔවුන්ට අනුවර්තනය වීමට පවා පහසුය. ලංකාවේ උසම භුමි මධ්‍යයේ පිහිටීමත් එහි උපරිම උස කොටස 1525 සිට 2524 දක්වා පවති. මුහුදු මට්ටමේ සිට සෑම 100 ක්ම ඉහලට ගමන් කිරීමේදී 0.64 ක් උෂ්ණත්වය අඩු වීම නිසා උස් භුමි ප්‍රදේශයේ උණුසුම 15 ක් පමණ       (0.64 25) අඩුය.  ඒ උෂ්ණත්වය අඩු වීම නිසා නුවරඑළිය ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය 120C ත් 150C  ත් අතර අගයක් ගනී.

 

ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වූ ස්වාභාවික සම්පත් පැවතීම.

            ශ්‍රී ලංකාවේ සතර දිග භාගයේ කුමන ස්ථානයක වුවද හමු වන්නේ ස්වභාව ධර්මය විසින් දායද කළ සම්පත්ය. ස්වභාවික සම්පත් ගහණය අතින් බහුල රටක් වන ශ්‍රී ලංකාව විදෙස් සංචාරකයාගේ නැරඹුමට අසු වේ. ලංකාව වටා ස්වභාවික මුහුදු වෙරළ ඒ අතරින් විශේෂිතය. එහි තුඩු කලපු, දුපත්, බොකු, ටොම්බෝලා, මෝය වැනි අංග විශේෂිත වේ. වෙරළ ආශ්‍රිත කඩොලාන පරිසරය මෝය ආශ්‍රිත දුපත් චමත්කාරය හා විනෝදය ගෙන එයි. මාදු ගඟේ දුපත් රාශිය හා කඩොලාන ආවරණය, මඩොල් දුව ඇතුළු දුපත් රාශිය මේ සඳහා කදිම නිදසුන්ය. ශ්‍රී ලංකාව මධ්‍යයේ සිට සිවු දිශාවට ගලා බසින ජාල ධාරාවන් මනස්කාන්ත බවකින් යුක්තය. අනෙකුත් රට වලට සාපේක්ෂව විශාල ගංගාවන් ප්‍රමාණයක් ලංකාවේ පවතී. ආරම්භයේ සිට කිලෝමීටර ගණනාවක් ගලා හැලෙන්නේ ඉතා සුපිරිසිදු ජල දහරකි. ජල සම්පත ගලා හැලෙනා රිද්මය ස්පර්ශ කිරීමට දෙස් විදෙස් සංචාරකයෝ ගිජු බවක් නොදක්වන්නේද?

            ලංකාවේ විවිධ ප්‍රදේශ පුරා පැතිරුණු වනාන්තරයන්ද සංචාරකයන් බැඳ තබා ගැනීමට උපකාරී වේ  දුර්ලභ වන සතුන් නැරඹීම ඒ අතර ප්‍රධාන වේ. විශේෂයෙන් ආසියානු ගෝත්‍රයට අයත් ලංකාවේ ජීවත් වන අලි ඇතුන් උප ගෝත්‍ර විශේෂ දෙක සහ ලංකා කොටියාට සංචාරකයින් දක්වන ඇල්ම මහත්ය. ඒ නිසා උඩවලව ඇත් අතුරු සෙවන, පින්නවල අලි අනාථාගාරය, විල්පත්තුව අභය භුමිය සංචාරකයා ආකර්ශනය කරයි. මෙයට අමතරව යාල, බුන්දල, කුමන, සිංහරාජ වනය මේ අතර ලෝකයේ ස්වභාවික වැසි වනාන්තරයක් ලෙස සංචාරකයින්ගේ අවධානයට පාත්‍ර වේ. ස්වභාවික දර්ශන, දීයමං, එක දේශික ශාක හා සතුන්ගෙන් සමන්විත ජෛව විවිධත්වය විෂමයජනකය.

 

 

            විවිධ ස්වභාවික පාෂාණ නිධි හා ඛනිජයන් ද සංචාරකයින් ආකර්ශනය වීමට තවත් සාධකයකි. දකුණු ඉන්දියාවටම ඇති එකම උල්පත්ගම රෝස තිරිවානා නිධිය, එප්පාවල ෆොස්පේට් නිධිය, රත්නපුර සහ ඔක්කම්පිටිය මැණික් ඉල්ලම් බහුල ප්‍රදේශ විශේෂිතය. රත්නපුරයේ මැණික් සඳහා වෙනමම මැණික් කෞතුකාගාරයක් ආරම්භ කිරීමෙන් මේ බව වඩාත් තහවුරු වේ. තිකුණාමලයේ කින්නියා ප්‍රදේශය සහ ඇඹිලිපිටි ප්‍රදේශයේ පිහිටි උණු දිය උල්පත් ලංකාවේ ස්වභාවික පරිසරයේ ආකර්ශනය හා විශේෂිත භාවය තිවුර කරයි. මේ නිසා සංචාරකයින් ස්වභාවික විශේෂතා නැරඹීමට පරිසර පහස විඳීමට ලංකාව කරා ආකර්ශනය වේ.   

 

 

 

සැකසුම - එරංග රන්ජන් පනාපිටිය

            දෙල්ගොඩ  කල්‍යාණ ප්‍රදීප පිරිවෙන් ආචාර්ය